ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?





දයාබර යාලුවනේ,
බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි, සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීමඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.
ඒ නිසා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) ‍පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි, පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් මොකක් ම හරි හේතුවන් හින්ද, ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම්, එතැන බුදු දහම නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි.
ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන, ධර්මයේ හැසි‍රීමට උත්සාහ කරන ඔබ තුළ, ඇත්තට ම බුදු සමිඳුන් ගේ අවවාදය ක්‍රියාත්මක වෙනවද කියල දැනගන්ට උපාකාර වෙන කරුණු කිහිපයක් ලියන්න ඕනි කියල හිතුන.. හැබැයි මේ දේවල් කියන්නේ, අනිත් අයව මනින්ට නෙමෙයි. එහෙමත් නැත්නම්, තාමන්ව ම මැණගෙන, හීනමානය හරි අධිමානය හරි ඇති කරගන්නට ත් නෙවෙයි. මේ කරුණු දැනගෙන, තමන්ගෙ ම තත්වය තේරුම් අරගෙන, දහම තුළ අප්‍රමාදීවීමට යි.
ධර්මයේ පිහිටපු කෙනා කැළඹුනත් මතුවෙන්නේ ධර්මය විතර යි
1. ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තුළ මූලික ව ම ‍සිදු වන දෙයක් තමයි, ඒ කෙනා තුළ ගුණධර්ම දියුණු වීම. කරුණාව, මෛත්‍රිය, අනිත් අය ගේ අදහස් ඉවසීම, අනිත් අයට උපකාර කිරීම ආදී ගුණ ධර්ම ඒ කෙනා තුළ ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙන දෙයක්.
2. ඒ වගේ ම විශේෂයෙන් ම ඒ කෙනා තුළ ඇති වන ගුණ ධර්මයක් තමයි කෙළෙහි ගුණ දන්නාකම. එය විශේෂ ගුණ ධර්මයක් හැටියට සදහන් කළේ ඇයි…? මේ ගැන කවුරු මොනවා කිව්වත්, කෙළෙහි ගුණ දන්නාකම කියන්නේ, කේවල (මුලුමනින් ම) සත්පුරුෂ භූමිය යි. ඒ කියන්නේ, සත්පුරුෂ භූමි යත් කළගුණ දන්නා බ වත් වෙන් කළ නො හැකි ලෙස බද්ධ වෙලයි තිබෙන්නේකෙළෙහි ගුණ දන්නා බව යම් තැනක නැත්නම් එතැන සත්පුරුෂභාවයක් ඇත්තේ ම නැහැ. මොකද බුදු රජාණන් වහන්සේ වදාළා, කෙලෙහි ගුණ නො දන්නා බව, මුලුමනින් ම අසත්පුරුෂ භූමිය බව. යම් කෙනෙක් තුළ, කළ ගුණ දන්නාබව නැත්නම්, ඔහු ඒකාන්තයෙන් ම අසත්පුරුෂයෙක්. විශේෂයෙන් ම යම් කිසි කෙනෙක්, සද්ධානුසාරී භාවයට හෝ පත් වෙනවා නම්, ඔහු තුළ ධර්මතාවයක් හැටියට ම, ස්ථීර ව‍ශයෙන් ම මේ උතුම් ගුණ ධර්මය පිහිටනවා. මෙය බලෙන් රිංගවිය යුතු දෙයක් හෝ, බලෙන් ඇති කළ හැකි දෙයක් හෝ නො වෙයි. ඕනම කෙනෙක් සත්පුරුෂ භූමියට පා තිබයනවා ත් එක්ක ම ධර්මතාවයක් හැටියට ම ඔහු තුළ කළ ගුණ දන්නා බව පිහිටනවා.
3. ධර්මය තුළ දියුණු වෙන, ධර්මය හිතට ගිය කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, ඒ කෙනා ලෝකය ත් සමග කැළඹී යන්නේ නැහැ. ඒ කියන්නේ, අපි හිතමු එයාට නින්දා අපහාස හෝ රෝගාබාදිය හෝ වෙන කිසියම් හෝ ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒ දෙවල් වලින් ඒ කෙනා ගේ සිත කැළඹෙන්නේ නැහැ. සිත යම් මට්ටමකට හෝ කැළඹුණත් එයා ට සිහි වන්නේ ධර්මය ම යි. එයා ගේ වචනයෙන් පවා බැහැරට නික්මෙන්නේ ධර්මය ම යි. ධර්මය සිතට නො ගිය කෙනා, ලෝකයත් සමග කැළඹෙනවා වගේ ම, ඒ කැළඹීම තුළින් එයා ගේ අභ්‍යන්තරයේ තිබෙන ‍අකුසල් එළියට පනිනවා. නින්දා අපහාස ලැබුණන් ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත එක්කෝ උපේක්ෂාවට පත් වෙනවා, එහෙමත් නැත්නම්, කැරකි කැරකී ධර්මය තුළ ම පිහිටනවා. මේ දේ ධර්මතාවයක් හැටියට ම සිදු වෙනවා.
4. ඒ වගේ ම බුදු පියාණන් වහන්සේ ත්, ධර්ම රත්නය ත්, සංඝරත්නය ත් මුල් කරගෙන කෙතරම් නින්දා අපහාස, වාද විවාද, ඇතිවුවත්, ධර්මයේ පිහිටපු කෙනා ගේ සිත, නැවත නැවතත් බුදු ගුණ දම් ගුණ සග ගුණ තුළම පිහිටනවා. සංසි‍‍‍‍‍ඳෙනවා. ඇවිස්සී යන්නේ නැහැ.
5. ධර්මයේ හැසිරෙන, ධම්මානුධම්ම පටිපන්න කෙනා ගේ තවත් ලක්ෂණයක් තමයි, එයා කථා කළොත් කථා කරන්නේ ධර්මය ම විතර යි, සිතුවොත් සිතන්නේ ධර්මය ම විතරයි. ඒ දෙක ම නැතිනම් එයා සතිමත් ව උපේක්ෂාවෙන් ඉන්නවා. ධම්මානුධම්ම පටිපන්න කියල කියන්න පුලුවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනෙකුට තමයි.
මේ මූලික ම කරුණු ටිකක් විතර යි..දයාබර යාලුවනේ, ඒ වගේ ම බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් යම් භාවනාවන් වඩන විට, ඒ භාවනාවන් තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්නට යම් යම් ක්‍රම. ඒ ක්‍රම කිහිපයකුත් ලියන්නම්. සමහර විට ඔබට ප්‍රයෝජනවත් වේවි.
භාවනාවේ දියුණුව මනින්නේ ගූඪ අත්දැකීම් වලින් නො වෙයි
1. ඔබ අසුභ සඤ්ඤාව එහෙමත් නැත්නම් අසුභ භාවනාව වඩනවා නම් = ‍මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම් සිදු වෙන දේ තමයි, ඔබේ සිත මෙවුන්දම් සේවනයෙන්, ඉවතට නැමීම, ඉවතට හැකිලීම. මේ භාවනාව වැඩීම නිසා, මෙවුන්දම් සේවනය ගැන එක්කෝ උපේක්ෂාව ඇතිවෙනවා, නැතිනම් පිළිකුල උපදිනවා. ඉතින් භාවනාව වඩන කාලය දීර්ඝ වුනත් කෙටි වුනත්, ඔබ තුළ මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙන්නෙ නැතිනම්, ඔබ තුළ මේ භාවනාව, හොඳින් දියුණු වන්නේ නැහැ. වඩන කාලය කෙටි වුනත් දිග උනත්, මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙනවා නම්, ඔබ තුළ මේ භාවනාව හොඳින් වැඩෙනවා.
2. මරණ සඤ්ඤාව එහෙමත් නැත්නම් මරණානුස්සති භාවනාව වඩනවා නම් = ජීවිතය ගැන ඇති ඇල්ම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත ජිවිතට ඇති ඇල්මෙන් ඉවතට නැමෙනවා. හැකිලෙනවා. ජීවිත තණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි උපදිනවා. මේ කියන්නේ මැරෙන්න හිතෙනවා කියන එක එහෙම නෙමෙයි. මේ භාවනාව වඩන විට ජීවිතය ගැන ඇති දැඩි තෘෂ්ණාව දුරු වෙන්ට පටන් ගන්නවා.
3. අහාරයේ පටික්කූල සඤ්ඤාව වඩනවා නම් = රස තෘෂ්ණාව ආහාර වල තිබෙන රසයට ඇති ගිජුකම දුරුවෙන්ට පටන් ගන්නවා. සිත කෑමවල රසයට ඇති ආශාවෙන් ඉවතට නැමෙනවා. ඉවතට හැකිලෙනවා. රසතණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා. මේ කියන්නේ කෑම ගන්න බැරිව යෑමක් ගැන එහෙම නෙවෙයි.
4. සියලු ලෝකයට නො ඇලෙන සඤ්ඤාව පුරුදු කරනවා නම් = ඒ ඒ ලෝකවල (දිව්‍යලෝක ඇතුළු) ඉපදීමට තිබෙන කැමැත්ත දුරුවෙන්ට පටන් ගන්නවා. ඒ ඒ ලෝකවල ඉපදීමට ඇති කැමැත්තෙන්, සිත හැකිලෙනවා. ඉවතට නැමෙනවා. ඒ ගැන උපේක්ෂාව හරි පිළිකුළ හරි ඇතිවෙනවා.
5. අනිත්‍ය සඤ්ඤාව එහෙමත් නැත්නම් අනිත්‍ය භාවනාව වඩනවා නම් = ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලට තිබෙන කැමැත්ත දුරු වෙන්ට පටන් ගන්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියෙන් හිත ඉවතට නැමෙනවා. ඒවා ගැන උ‍පේක්ෂාව හරි පිළිකුළ හරි ඇති වෙනවා..
ගොඩක් දෙනෙක් වඩන භාවනාවක් නිසා, මේ ගැන පොඩ්ඩක් කියන්නම්. අනිත්‍ය භාවනාව තමන් තුළ වැඩෙනවා ද කියා දැනගන්ට තිබෙන්නේ, ඒ තුළින් ලැබෙන යම් යම් අත්දැකීම් වලින් නෙමෙයි. මුලින් කිව්ව ක්‍ර‍මයෙන්. අනිත්‍ය භාවනාව වඩන ඔබ තුළ ලාභ සත්කාර ගැන, කීර්ති ප්‍රශංසාක ගැන උපේක්ෂාවක් හරි පිළිකුළක් හරි ඇති වෙනවා නම්, සිත ඒවායින් ඉවතට හැරෙනවා නම්, එතනින් තමයි තේරුම් ගන්ට පුලුවන් වෙන්නේ, අනිත්‍ය භාවනාව වැ‍‍‍‍‍ඩෙනවා ය කියා. අනිත්‍ය භාවනාව වඩද්දීත්, “නම ප්‍රසිද්ධකර ගන්නට, බොහෝ දෙනෙක් අතර දැනගත් චරිතයක් වෙන්නට, තමාදහම් දැනුම ඇති අයෙක්, භාවනා කරන අයෙක් කියා ප්‍රසිද්ධ වන්නට, අන් අය‍ගේ ලාභ සත්කාර තමා වෙත ලබාගන්නට,” ආදී වශයෙන් තමා තුළ තිබෙන කැමැත්ත එහෙමම තියෙනවා නම්, එහෙමත් නැත්නම් ටික ටික වැඩි වෙනවා නම්, (කුමන අද්දැකීමක් ලැබුණත්) තේරුම් ගන්නට තිබෙන්නේ, ඔබ තුළ අනිත්‍ය භාවනාව නො වැඩෙන බව යි.
6. අනිච්චේ දුක්ඛ සඤ්ඤාව එහෙමත් නැත්නම්, අනිත්‍ය දේ දුකයි කියා වඩන භාවනාව වඩනවා නම් = මේ භාවනාව ඔබ තුළ හොදින් වැඩෙනවා නම්, “බණ භාවනා කරන්නේ නැතිව අලසව ඉදීම ගැනත්, කුසීතව ඉදීම ගැනත්, කම්මැලි ව ඉදීම ගැනත්, විවිධ දේවල් කරමින් ප්‍රමාදීව ඉදීම ගැනත්, ඔබ තුළ ඉතා ම තද බයක් ඇති වෙනවා. තීවෘර බියක් ඇති වෙනවා.
උපමාවකින් පෙන්වලා දී තිබෙන්නේ, හරියට කඩුවක් අතින් ගත් වදකයෙක්, බෙල්ලට කොටන්න ඉන්න විට ඇතිවෙන බිය වගේ ඉතා තදබල බියක්, මුලින් කියපු දේවල් ගැන ඇති වෙනව කියල යි. ඉතින් කම්මැලි කමට සිටීම ගැන එහෙම බියක් ඇති වෙන්නේ නැත්නම්, ඒ භාවනාව එයා තුළ වැඩිලා නැහැ.
ඇත්තෙන් ම අද කාලේ ධර්මයේ හැසිරෙන්න වෙහෙස වෙන අය දිහා බැලුව ම, ඒ අයට නම් අනිත්‍ය දේ දුකයි කියන සඤ්ඤාව සුවල්පයක් වත් වැඩිල නෑ කියල යි මට නම් හිතෙන්නේ. ඒ තරමට ම ප්‍රමාද වෙවී කාලය කමින් ජීවිත ගතකරනවා.
7. දුක් දේ අනාත්මයි කියා වඩන භාවනාව, (දුක්ඛේ අනත්තසඤ්ඤා) වඩනවා නම් = මේ භාවනාව වැඩීමෙන් සිදු වෙන්නේ, තමන් ගේ ශරීරය ගැනත්, බාහිර තිබෙන සියලු දේ ගැනත් ඇති මම කියන හැගිම, මගේ කියන හැගීම ආදී සියලු මානයන් දුරින් ම දුරු වී යෑම යි.
ප්‍රමාදී අයට පසුතැවෙන්ට වෙන දිනය වැඩි ඈතක ‍නොවේ
ඉතින් යාලුවනේ ධර්මය තුළ අපි දියුණු වෙනවා ද කියන බලන්ට තිබෙන්නේ, ධර්මයේ හැසිරීම සහ බණ භාවනා කිරීම තුළින් ලැබෙන යම් යම් ගූඪ අත්දැකීම් තුළින් නෙමෙයි. මෙන්න මේ ගුණ ධර්ම තමන් තුළ දියුණු වෙනවා ද නැද්ද කියන එක තුළිනු යි. ඒ නිසා අපි අපි ගැන ම හැගීමක් ඇති කරගනිමු. මේ කියන කිසි දෙයක් තමන් තුළ දියුණු වෙලා නැති නම්, දියුණු වෙනපාටකුත් පේන්න නැතිනම්, අපි ඉක්මණින් ම කළ යුත්තේ, වාද විවාද කර කර, ඔහේ අන්තර්ජාලයේ ඇවිද ඇවිද ඉන්න එක වහාම නවත්ල දමල, ඔලුව ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවා ගන්න උත්සාහ කරනවා වගේ, ධර්මය දියුණු කර ගැනීම පිණිස මහන්සි වීම යි. ඒ පිණිස ම සියලු දෙනා ගේ ම සිත් පිහිටාවා..!

Comments

  1. Hi,

    I very much appreciate your effort in this article and it has written simple language but to make awareness of very deep concept in buddhism.

    May triple gem bless you.

    Sam

    ReplyDelete
  2. Hi there, just bеcamе alert to your blog
    through Google, anԁ found that it is really іnformаtivе.
    I аm gonna watch out fοr brussels. I'll be grateful if you continue this in future. Many people will be benefited from your writing. Cheers!

    My webpage: remedios para la impotencia

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”