“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”

මේලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්.
පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප‍්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ඒ නිසා යහපත් වැඩක් කරන්නට හදන විටත්, එය කඩාකප්පල් කරන අදහසින් යහපත් පුද්ගලයාට පවා නින්දා අපහාස කරනවා. ගරහනවා. අභූත චෝදනා කරනවා. එවැනි පුද්ගලයන්ගේ ඇසුර ඉතාමත්ම භයානකයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ලෝකයේ කාටවත් යහපතක් සිදුවන්නේ නැහැ. තමාටත් අයහපතක් සලසන, අනුන්ටත් අයහපතක් සලසන එවැනි පුද්ගලයන්ව හඳුනාගෙන දුරින්ම දුරු කළ යුතුයි.
පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඉතින් එබඳු පුද්ගලයන් හැම තිස්සේම කල්පනා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා ලබාගෙන ජීවත් වෙන ආකාරය විතරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.
අසත්පුරුෂයාට කොච්චර උදව් ලැබුනත් ඒ හේතුවෙන් ඔහු සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය අඟුරු කෑල්ල වගෙයි. මොනතරම් කිරෙන් සේදුවත් අඟුරු කැබැල්ල සුදු වෙන්නෙ නැහැ. ඒ නිසා අපේ පැරණි කවියන් අසත්පුරුෂයන්ව මේ විදිහට හඳුන්වා දී තිබෙනවා.
“කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්”
මෙහි තේරුම මෙයයි; කොයිතරම් ඇප උපස්ථාන කළත්, උදව්පදව් කළත්, දුර්ජනයන් කිසිදවසක යහපත් වෙන්නෙ නැහැ. කොයිතරම් වාරයක් කිරි වතුරෙන් අඟුරු සේදුවත් සුදු වෙන්නෙ නැහැ. එනිසා අසත්පුරුෂයන්ට සැලකීම නිසා දුක් විඳින්නට සිදුවෙද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාව සිහි කිරීම ඉතාමත්ම ප‍්‍රයෝජනවත් වෙනවා.
කෙලෙහි ගුණ නොදත් අසත්පුරුෂයෙකුගෙන් බැට කෑ අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක් තමයි මේ ගාථාවට පසුබිම වන්නේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ ඉතා අහිංසක පවුලක් වාසය කළා. ඒ නිවසේ ඉතාමත් කාරුණික අම්මා කෙනෙක් හිටියා. ඇයට දරුවන් කිහිප දෙනෙක් හිටියා. ඇය දරුවන්ට වගේම එක්තරා මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුට උපස්ථාන කළා. පාවෙය්‍යක ආජීවක නමිනුයි ඒ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාව හඳුන්වන්නේ. මේ අහිංසක අම්මාත්, දරුවනුත් මේ හිස් පුද්ගලයාට උදව් කළේ ශ‍්‍රද්ධාවෙන්මයි. පවුලෙ කෙනෙකුට වගේ සැලකුවා. ආදරයෙන් ඇප උපස්ථාන කළා. පවුලේ හැම කටයුත්තක්ම කිරීමට මොහුගේ ආශිර්වාද ගත්තා. අන්තිමේදී මොහුගෙන් නොඅසා කිසි දෙයක් නොකරන මට්ටමට මේ පවුල පත්වුනා.
මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුගේ ග‍්‍රහණයට හසු වූ මේ පවුලට වටිනා දේවල් කරා යන්නට ලැබුනේ නැහැ. ඒ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටි කාලයයි. ඒ බණ අසන්නට යන මිනිසුන් සවසට සුවඳ මල්ගෙන සැවැත් නුවර දෙසට යද්දී අර අම්මා පුදුමයෙන් වගේ බලා සිටියා. නමුත් මේ අම්මාට ජේතවනාරාමයට යාමට අර පාවෙය්‍යක නම් වූ ආජීවකයා තහනම් කරලයි තිබුනේ. හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ‍්‍රාවකයන් ගැනත් මොහු ඉතා අසාධාරණ විදිහට විවේචනය කරමින් සිටියා.
බුදුබණ අසා පැහැදෙන මිනිසුන් ඉතාම සතුටෙන් බුදුගුණ කිය කියා, බුදුරජාණන් වහන්සේගේ අසිරිය කිය කියා එන අයුරු මේ අම්මා ආශාවෙන් බලා සිටියා. ඇයටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇතිවුනා. ඉතින් ඇය උපස්ථාන කරන ආජීවකයා ළඟට ගියා. “පින්වත් ආර්යයන් වහන්ස, දෙව්රම් වෙහෙරට යන අය බුදුගුණ කිය කියා ආපසු යන හැටි අසන විට අනේ…. මටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇති වුනා. ඉතින් මං කල්පනා කළේ බණ අසන්නට යන්නයි. ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද කියන්නේ?”
“අහෝ…! රත්තරන් මෑණියනි, දෙව්රම පැත්ත පළාතෙ යන්න එපා! එතන ගුරුකම් කරනවා. යන යන අය මුලා කොට රවටා ගන්නවා. තරුණ පිරිස මහණ වෙනවා. එතකොට ජාතිය වඳවෙලා යනවා. ඒ නිසා ඔය පැත්ත පළාතට යන්න එපා! භාවනා කරන්න ගිහින් පවුල් අවුල් වෙලා තියෙන්නෙ. ඒ නිසා ශ‍්‍රමණ ගෞතමයන්ගේ උපදෙස් ගන්න යන්න එපා!” කියල මේ අසත්පුරුෂයා අර අම්මාගේ ධර්මශ‍්‍රවණයට බාධා කළා. තමන් මේ සා භක්තිමත්, ආජීවක තැන විසින් දෙන උපදෙස් වලට පිටුපාන්නට අම්මා බිය වුනා. ඒ නිසා ඒ ගමන නැවතුනා.
සැදැහැවතුන් ගේ ජීවිත වලට පින් රැස්වන අයුරු දකිනා විට ඒ අම්මාට නැවත නැවතත් ආශාව ඇතිවුනේ දෙව්රම් විහාරයට යන්නටයි. ඒ සෑම අවස්ථාවේදීම අම්මා කළේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දාගෙන් අවසර ඉල්ලීමයි. ඒ පුද්ගලයා කිසිසේත්ම අවසර දුන්නේ නැහැ. අන්තිමේදී අම්මාට මෙහෙම හිතුනා. “අනේ පුතේ, අපේ ආර්යයන් වහන්සේ අපි දෙව්රම් විහාරයට යනවාට කැමැති නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවාට කැමැති නැහැ. මිනිසුන්ට නිවනක් වුවමනා නැහැලූ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලයි. අපේ ආර්යයන් වහන්සේ කියන්නේ ඒ අමා නිවන් සුව බොහෝ දුරලූ! අනේ පුතේ, මට නම් වුවමනා බුදුබණ අසන්නමයි. මේ නිසා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවසට වඩින්න කියලා. මං දානෙ ටිකකුත් සූදානම් කරන්නම්.”
අම්මා ගේ වචනය පිළිගත් පුතා කෙළින්ම ගියේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා ළඟටයි. ගිහින් කාරණාව කියා හිටියා. ඒ පැවිද්දාට හොඳටම කේන්ති ගියා. “ඒයි රත්තරන් දරුවා, නුඹට පිස්සුද? නුඹලාගේ අම්මාට මනස්ගාතයක් වැදිලා. ඔය අලූත් විලාසිතාවට අහුවෙලා ඉන්නෙ. ආපහු ගෙදර පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, එහෙම කරන්න බැහැ. අම්මා මට බනීවි.” “නෑ… නෑ… අම්මා බනින්නේ නැහැ. දානෙ හදාපුවාවෙ. මං දානෙට වඩින්නම්. වෙන කවුරුවත් ඕන නැහැ. නුඹ හැරිලා පලයන්.” “අනේ ආර්යයන් වහන්ස, මට නම් එහෙම කරන්න බැහැ. අම්මා මට කුමක් කරාවිද දන්නෙ නැහැ.” “රත්තරන් දරුවෝ, එහෙනම් නුඹ මෙහෙම කරපන්. දෙව්රම් වෙහෙරට ගිහින් ශ‍්‍රමණ ගෞතමයන්ට දුර පාරක් කියාපන්. එතකොට දානෙට වඩිද්දී රවුම ගහගෙන එනවිට වෙලාව ගිහින් ඉවරයි. ඊට පස්සේ දානෙ අපට තමයි. හික්…. හික්….”
රත්තරන් දරුවෝ කියපු නිසා මේ දරුවා මේ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාට හසුවුනා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතාමත්ම දුර පාරක් කිව්වා. කියල නැවත අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා මුණගැසුනා. “පින්වත් ආර්යයන් වහන්ස, නුඹ වහන්සේ කියූ පරිද්දෙන්ම මං පාර වරදින විදිහට ආරාධනා කළා.” “මගේ රත්තරන් පුතේ, යසයි! ශ‍්‍රමණ ගෞතමයන්ට පාර වරද්දවන්නමයි තියෙන්නෙ.”
අර පින්වත් අම්මා ඉතාමත් සතුටට පත්වුනා. ගොම ගා ගෙය පිරිසිදු කළා. මල් විසිරෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩසිටින්නට ගරු සරු ඇතිව ආසනයක් පැණෙව්වා. එදා කාටත් හොරා අර පාවෙය්‍යක ආජීවකයා කුස්සිය පැත්තෙන් ගෙට රිංගුවා. කාමරයට වැදිලා නිශ්ශබ්දව හිටියා. උන්දෑ බලාපොරොත්තු වුනේ කාල වේලා ඉක්මගිය පසු පිසින ලද දානය අනුභව කිරීමටයි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නොමඟ යවන්නට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් බැරි බව අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා දන්නෙ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඒ නිවසට වැඩම කළා. අම්මාට පුදුමාකාර සතුටක්. ඒ අම්මා ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ අම්මාට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. සතුට ඉවසුම් නැති අම්මා, ඉතාම ප‍්‍රීතියෙන් යුක්තව තුන් යලක් “සාදු! සාදු! සාදු!” කියා සාදුකාර දුන්නා. එතකොට කාමරයේ සිටි පාවෙය්‍යක ආජීවකයාට මේ සාදුනාදය ඇසුනා. ඔහුට ඊර්ෂ්‍යාව ඉහිලූම් නැතුව ගියා. “තට… තට…” ගාමින් වෙව්ලන්න පටන් ගත්තා. මැද්දට කඩා පැන්නා. “ඒයි කාලකණ්ණි ගැහැණිය, තී විනාශ වෙලා පල! තිට දැන්ද සත්කාර කරන්න පැවිද්දන් ඕන වුනේ? තිට සාදුකාර කියවෙන්නේ දැන්ද? නීච ගැහැණිය, තී මගේ බසට පිටුපා මේ ශ‍්‍රමණයාගේ බණ අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නටද තී හදන්නේ…?” කියා නින්දා අපහාස කොට පලා ගියා.4_7 stanza
ඒ අම්මාගේ හදවත කඩාගෙන වැටුනා වගෙයි. විශාල කම්පනයක් ඇතිවුනා. අම්මා දෑස වසාගෙන හඬන්න පටන්ගත්තා. අම්මාගේ සිත නොසන්සුන් වුනා. ධර්ම දේශනාවට එකඟ වෙලා තිබුණු සිත වේදනාවෙන් භරිත වුනා. සිහිය යොමුකරගන්නට බැරි වුනා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අම්මා දිහා ආදරයෙන් බැලූවා. “පින්වත් උපාසිකාව, ලෝකයේ පවතින ඔය විසම කතාබහට අපි පැටලෙන්න ඕන නැහැ. අන් අයගේ නින්දා අපහාස ගණන් ගත යුතු නැහැ. ඒවා ගැන අපි සිතන්නට ඕනත් නැහැ. ඒවා නොසලකා හැර අපි තම තමා කළ නොකළ දේ ගැන පමණක් කල්පනා කරමු. දැන් කළ යුතු දේ ධර්මශ‍්‍රවණයයි. ඒ ගැන විතරක් දැන් හිතන්න. මේ ධර්මශ‍්‍රවණයටම සවන් දෙන්න. මේ ගැනම හිතන්න” කියා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.
න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගන්නේ
තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙය ඉතාම වැදගත් උපදේශයක්. අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නගා බුදුන් වැන්දොත් සමහර විට තව කෙනෙක් ඒකට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියල ලෝකෙට පෙන්නන්න ඕනද?” මෙවැනි දේ කියල අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. ඒ නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ.
අපි තව එකක් මතක තබාගන්න ඕන. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලූ දෙනාම ඒ කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුන සිතකිනුයි. ඒ නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. තමන්මයි පිරිහිලා යන්නේ. අනුන්ට ගරහලා නින්දා අපහාස කරලා අභූත චෝදනා කරලා ඒ හේතුවෙන් සැපයට පත් වුන කෙනෙක් ලෝකයේ නැහැ. ඒ නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ. අපි කරන හොඳ වැඩ දිගටම කරමු. අපිත් රකින සිල් තව තවත් හොඳින් රකිමු. අපි තව තවත් හොඳින් බණ භාවනා කරමු. ධර්මය ඉගෙන ගනිමු. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමු. බුදුරජාණන් වහන්සේ වදාළේ  ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ කියලයි. හැබැයි එය අදාල වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට මිසක් ධර්මයේ නොහැසිරෙන කෙනාට නොවෙයි. ඒ නිසා අපි ධර්මයේ හැසිරෙන අය වෙමු.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Comments

  1. සාදු සාදු දිගටම මේ වගේ ලිපි පලකරන්න

    ReplyDelete
  2. සාදු සාදු දිගටම මේ වගේ අර්තවත් ලිපි පලකරන්න

    ReplyDelete
  3. අදයි මේ බ්ලොග් එකට ගොඩ වුණේ. මාද මෙවැනි ගැරහුම් රාශියක් ලබා සිත කලබල වී සිටින මොහොතක මගේ සිත් සන්සුන් කර ගන්න මේ සටහන ඉවහල් වුණා.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

මොකක්ද මේ හුචක්කුව.........